20 June 2017

Brush - බුරුසුව (Sinhala)


මම වරෙක ලස්සන හුරුබුහුටි දත් බුරුසුවක් භාවිතා කළෙමි. සෑදුණු අමුද්‍රව්‍ය මෙන්ම එහි නිමාව මසිත් ගත්තේ නිරායාසයෙනි. නමුත් එය මා වෙත ලැබෙන මොහොතේ දී පවා ආවරණය ඉවත්කොට තිබුණත් බුරුසුවක අවශ්‍යතාවයට වඩා එහි නිමාව සහ සුරුබුහුටි බව හේතුකොටගෙන මම එය මා සතු කරගත්තෙමි.

සිදු වූයේ නොසිතූ විරූ දෙයකි. දිනක් මා නොමැති අතර බුරුසුව ද අතුරුදන් වී තිබුණි. සිත් තැවුළට පත් මා දස දෙස එය සොයා මහ පාරේ තිබෙණු දුටූයෙමි. එදා එය පාරට ගෙනාවේ කවුදෝ කියා පුදුම වුවත් කළක් ගතවත්ම එය වෙනත් අයකු ඇහිඳ භාවිත කරනු මගේ නෙත ගැටුණි. කෙසේ නමුත් එය දකින මොහොත වනවිටත් දත් බුරුසුවක සුරුබුහුටි බවට වඩා පිරිසිදුව ප්ලාස්ටික් ආවරණය සහිතව කැරපොත්තන්ගෙන් පවා ප්‍රවේශම්ව තබාගත යුත්තේ ඇයි ද යන කාරණය උගෙන ගෙන සිටීමි.

කලක් ගතවිය. තවත් සුරුබුහුටි දත් බුරුසුවක් මා නෙතු ගැටුණි. හුරුබුහුටි පෙනුමකින් යුතු එයනම් පැකින් පිටම ලබාගැනීමට මට හැකි විය. ආරක්ශක ප්ලාස්ටික් ආවරණය පවා අලුත් ලෙසම තිබුනි. කෙසේ වෙතත් පැකින් පිළිබඳව අවධානය යොමු කරනවාටත් වඩා කල්පැවැත්ම පිළිබඳ මම අවධානය යොමු කිරීමට සිතාගත්තෙමි.

යළිත් සිදු වූයේ නොසිතූ විරූ දෙයකි. එය ද සොරා කා තිබුණි. කෙසේ නමුත් එයට මා ඇළුම් කිරීමට පටන් ගැන්මට ප්‍රථමයෙන්ම සොරා එයට ඇළුම් කිරීමට පටන් ගෙන තිබුණු. කළක් ගත වත්ම බුරුසුව ද සොරාට ඇළුම් කරනු දුටූයෙමි.

කාරණාව මේ කිසිවක් නොවේ. කාරණාව සොරා මා හා සිනාසී මගේම දත් බුරුසුවෙන් හිරිකිත නැතිව මැදීමයි. මම සොරාට වෛර කිරීම පසෙකලා  බුරුසුවේ නිදහස ගැන සිතීමට වෙර දැරුවෙමි. බුරුසුවක නියම තත්ත්වය පවත්වා ගැනීම පිළිබඳ බුරුසුව නොදන්නා කමට මම උපේක්ෂාවෙන් අනුකම්පා කරමි.

මේ සියල්ලටම වඩා සුන්දර කාරණය නම් බුරුසු දෙකම සොරකම් කළේ එකම හොරා වීමයි.

නිමි.